ඉස්සෙල්ලාම මම ටිකක් වෙනස් ආකාරයේ පින් කමක් කරන්න යනවා කිව්වම ඒකට වචනයකින් හරි දායක උන, මාව දිරි ගන්වපු සයිබ අවකාශයේ ඔයාල ඔක්කොටම මම ගත්ත පිං කිසිම අඩුවක් නැතුව අනුමෝධනා කරනවා. පිං කම බොහොම ලස්සනට සිද්ද උනා. ඊයේ ඒ ගැන ලියන්න පොරොන්දු උනත් වැඩ ගොඩක් සෙට් උන නිසා ඊයේ ලියන්න බැරි උනා. අද මම ලක ලැස්ති වෙන්නේ ඒ ගැන ලියන්න තමා. ඒ අතරේ මගේ පුංචි බ්ලොගයට අලුත් ඇදුමක් අන්දලා තියනවා ඔයාලට පේනවා ඇති.
හරි එහෙනම් මෙන්න මෙහෙමයි පිං කම සිද්ද උනේ. මගේ කලින් පොස්ට් ඒක කියවපු අය දන්නවා අපේ ගෙදරින් අංගොඩ මානසික රෝහලට වාර්ෂිකව දානයක් දෙනවා කියල. ඉතින් මේ අව්රුද්දෙත් අපි එකට ලෑස්ති උනා. රෝහලේ වැඩ කරන කීප දෙනෙක්ගේ ඇදුනුම්කම් තිබුනත් අපේ අම්මි කෙලින්ම ඒවා හරහා යන්නේ නැතුව ගියා රෝහලේ ප්‍රදාන කාර්යාලයට. ගිහින් අපේ අවශ්‍යතාව කිව්වම එයාල බොහොම සතුටුවෙලා කාරිය මෙන්න මෙහෙම කතාවක් කියල තියනවා. නිලධාරියා: නෝනා අපි අපේ ලෙඩුන්ට පිටින් කෑම දෙන්නේ නෑ. අපිට බඩු දෙන්න අපේ කට්ටිය ඉන්නවා උයන්න අපි උයල ඔයාලගේ අතින් පිලිගන්වන්න. ලිස්ට් එකේ මෙන්න මේ වාට්ටුව තමා ඊළගට තියෙන්නේ. එකේ ලෙඩ්ඩු 40ක් ඉන්නවා. මොනවා වගේද නෝනා දෙන්න කැමති.
(වසරක් පාසා අපි උයන් ඇවිල්ල දෙන දානේ දැන් උයල ගේන්න බැලූ. අම්මි දැනගත්ත මෙතන මොකක් හරි කෙලියක් තියනවා කියල. නමුත් මොඩය වගේ එතන කෑගහන්න බෑනේ.)
අම්මි : ඕනෙම දෙයක් කියන්න. වැඩිය ලෙඩ්ඩුන්ට ලැබෙන්නේ නැති දෙයක් නම් වඩා හොදයි.
නිලධාරියා: එහෙනම් නෝනා අපි කට්ටියට ෆ්‍රයිඩ් රයිස් දෙමු. කමක් නැද්ද??
අම්මි: කමක් නෑ. ගොඩක් හොදයි. කට්ටිය අසාවෙන් කාවි.
නිලධාරියා: (තව කෙනෙක්ව කැදවා) ______ මෙන්න මේ නෝනට __ වාට්ටුවේ ඉන්න ලෙඩ්ඩු 40 දෙනාට ෆ්‍රයිඩ් රයිස් දෙන්න ඕනේ බඩු ලිස්ට් ඒක දෙන්න.
කොහොම කොහොම හරි ඔය කෙනා අම්මි එක්ක කතාවෙලා දෙන කෑම ජාති මේවා.
- බත් (ෆ්‍රයිඩ් රයිස්)
- අල කිරි හොදි
- මාළු
- සීනි සම්බල්
- පපඩම්
ඔය ටිකට මිනිහ දීල ලිස්ට් එකක්. ඔක්කොම දැම්මොත් මේක දිග වැඩි වෙනවා, ඒ නිසා මම මෙතනට වැදගත් එකක් දෙකක් දාන්නම්.
- හාල් කිලෝ 8
- පොල් ගෙඩි 15
- බටර් කිලෝ 1
- කෑලි මිරිස් කිලෝ 1
කොහොමද ඒක. මම වැඩිය උයන්න දන්නේනම් නෑ. හැබැයි මේ ලිස්ට් ඒකනම් ලෙඩ්ඩුන්ට නෙමේ කියල මම වගේ හරකෙක්ටත් තේරෙනවා. (බලන්ගියාම මටත් වඩා උන් ඉන්නවා) අපි කවදත් පිං කමක් කරන කොට කිසිම ලෝස් එකක් නෑ. ලෝස් වෙලා දීල වැඩකුත් නෑ. හැබැයි මේවගේ දේවල් නම් සහගහන අපරාද.
අම්මි කටවහගෙන ඇවිල්ල ගෙදර කිව්වම තාත්තට ඌරු ජුවල් නැග්ග.
“අත ඇරලා දානවා අය මගුල. අසරණ මිනිහෙක්ට දෙයක් දෙන ඒක එකක්. ඒත් අසරණ මිනිස්සු විකුණගෙන කන පාහරයින්ට මගෙන් දෙයක් ලැබෙන්නේ නෑ” තාත්ති කිව්වේ එච්චරයි.
අපේ අම්මි ඉතින් දෙයක් පටන් ගත්ත්තොත් ලේසියෙන් අත අරින කෙනෙක් නෙමේ. (පුතත් එහෙම තමා. එකම ජාන. හිකි හිකි.) දන්නා අදුරන කෙනෙක් මාර්ගයෙන් දාගත්ත දානේ වාට්ටු එකකට නෙමේ 3කට. (පොඩියට නෙමේනේ ශාද්ධාව.) ඒ වාට්ටු තුනේම ඉන්නේ කාත් කව්රුවත් නැති අය. කොටින්ම කිව්වොත් කාලකන්නි දරුවෝ අඩුම ගානේ අව්රුද්දටවත් බලන්න එන්නේ නැති අය. එයාල මැරුණම ඒ වැඩ කරන්නෙත් රෝහලෙන්මයි. මේ වාට්ටු වලට දාන ලැබෙන්නෙම නෑලු. (කාර්යාල ලිස්ට් එකේ මේ වාට්ටු නැතුව ඇති.) ඔක්කොම ඉන්නේ වයසක උදවිය. වයසක කියන්නේ 60න් ඉහල.
කඩෙන් ඉදි ආප්ප 1500ක ඕඩරයක් දැම්ම. ගෙදර වට පිටවේ අයත් සහභාගී කරගෙන ගෙදරම මාළු, සීනි සම්බල්, කිරි හොදි හැදුව. කෑමට පස්සේ කන්න කෙසෙල්,දොඩම්,ඇපල් ,මිදි, චොකලට් ගත්ත. අපේ වාහනේ ඔක්කොටම යන්න බැරි නිසා කැබ් එකක් කතාකරගෙන ගෙවල් වටේම ඉන්නේ ගෑනු මනුස්සයෝ 10ක් විතර එක්ක ගියා දානේ දෙන්න.
යනකොට ලෙඩුන්ට කාරනා නොතේරුණත් පිංකමේ අඩුවක් නොවෙන්න හාමුදුරුනමක් වඩම්මල පැයක බණ දේශනාවක් කරන්නත් අපි අමතක කරේ නෑ. මානසික ලෙඩකින් පෙලෙන තවත් හාමුදුරුනමක් එහා අස්නේ තියාගෙන බණ කියන්න ලැබීම අපේ හාමුදුරුවන්ටත් අලුත්ම අත්දැකීමක් උනා.
කාලෙකින් ලැබෙන රස කෑම වේල පිරිස රස බැලුවේ ඇස්වලින් කදුළු නංවමින්. ඒවා දැකල අපි හිටියේ කොච්චර අමාරුවෙන්ද කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑ මගේ හිතේ. අතුරුපසක් ලැබෙන්නේ බොහොමත් කලාතුරකින්. ඒකත් පලතුරු ජාති දෙක-තුනක් මතක ඇති කලෙක ලැබිල නැතුව ඇති.(ගොඩක් අය සිහි බුද්දිය නැති නිසා,මතකම නැතුව ඇති)
වයසක ආච්චිලාට, සීයලට පිං අනුමෝදම් කරන්න තරම් සිහියක් නැති උනත් එයාලගේ ඇස්වලින් වැටුන කදුළු බිංදු ඊට වඩා ලොකු කතාවක් කිව්වා.
පොස්ට් ඒක හිතුවට වැඩ දික් උනා. කරන්න දෙයක් නෑ දිගටම ලියල දානවා. ඔයාල කියෙව්වත් නැතත් මට දැන් නවත්තන්න හිතෙන්නේ නෑ.
ඔතන හිටිය වයසක අය අතරේ ඔයාල මම දන්නා ප්‍රසිද්ද චරිතෙකුත් හිටිය. ඒ තමයි “මරදන්කඩවල යකඩයා” කියල කියන මනුස්සය. දැනටත් එයාගේ ඒ පෙනුම අඩුවක් නැතුව තියනවා. එකම වෙනස සරීරය වැහැරිලා තියන ඒක විතරයි.
ඔක්කොම ඉවර කරලා එන්න ලෑස්තිවෙලා කලින් සොයාගෙන තිබුන විදියට වාට්ටු තුනටම තිබුන අඩුපාඩු යම්තාක් දුරට පිරිමහන්න අපි බඩු අරන් ගියා. ඒවා වාට්ටු බාර හෙදියන්ට බාරදුන්නම එයාල අපිට ගොඩක් පිං දුන්න, මේ වගේ දානේ ලැබෙන්නෙම නැති වාට්ටුවලට දානයක් දුන්න එක ගැන. අපිට ඒවා අහන්න ඕන උනේ නෑ. හැමෝටම ඕනේ උනේ පුළුවන් තරම් ඉක්මනට තමන්ගේ ඇස්දෙක අදුරකට ගෙනියන්න. මොකද කදුළු උනත් හිරකරන් ඉන්න පුළුවන් සීමාවක් තියන නිසා.
මාරය අයිය ඇතුළු කීප දෙනෙක් දානයක් දෙන විදිය අහල තිබුන. දානයක් දෙන එකනම් හොද වැඩක්. නමුත් කාර්යාලය හරහා යනවනම් ටිකක් සිහි බුද්දිය ඇතුව වැඩේ කරන්න. ඕන වෙලාවක බුකියේ මට මැස්සෙක් දාන්න මම ඔයාලට ඕන කරන අයව මුන ගස්සන්න පුළුවන් උපරිමය කරන්නම්.
එහෙනම් මම අදට නවතිනවා. පොස්ට් ඒක නවත්තන්න මේක හොදයි කියල හිතල කලින් මම මේ කතාව දැම්මේ නෑ.
බණ ඉවර වෙලා පිරිකර පුජාකරන වෙලාවේ අපේ අම්මි හිටිය වයසක ආච්චි කෙනෙක්ට දුන්න පිරිකර පුජ කරන්න කියල. එයා බොහොම කැමැත්තෙන් පිරිකර පුජ කරා. දානෙත් ඉවරවෙලා වාට්ටුව හරහා යන මට හාන්සිවෙලා හිටිය ආච්චි කෙනෙක් ජනේලයෙන් එහා හිස අවකාශය දිහා බලාගෙන කොදුරනවා ඇහුන.
“මම අද මගේ අතින් පිරිකරක් පුජ කරා”
මට ඒ ආච්චි දිහා කෙලින් බලන්න පුළුවන් කමක්වත්, තවදුරටත් එතන රැදෙන්නවත් හයියක් තිබුනේ නෑ.