Thursday, February 27, 2014

කරාටේ නාමයෙන් කොසු ඉදල් කැඩීම - පාසලේ විත්ති



ඉස්කෝලෙ කතා කියනකොට අපිට ලොවෙත් අමතක කරන්න බැරි පුද්ගලයෙක් තමා අපේ දීමන්ත. ඌට මොකක් හරි කරාටි වලට සම්බන්ද කාඩ් එකක් තිබුන. හැබැයි මට දැන් මතක නෑ.. බලාපල්ලකෝ තාම අවරුදු 6-7යි ගියේ.. දැනටත් මතක නෑ . තව අවරුදු 10-15ක් ගියොත් කොහොමට තියෙයිද?? (බොන අරක්කුවක් විසවී හෝ අතර මගදී බස් එකකට හැප්පී හෝ මූනු පොත සම්බන්ද පෙම් පලහිලව්වක් නිසා මේ දවස් වල ඉතාමත් ප්‍රසිද්ද සියදිවි නසා නොගත්තා යයි උපකල්පනය කර ඇත.) හෝව්.. හෝව්.. පොඩ්ඩක් ට්‍රැක් එක පැන්න. නැවත කතාවට. දිමන්තයත් IT කරන්නෙ. සමහර විට මේක දකීද දන්නෙත් නෑ.. එහෙම උනොත් සමා අවසර වෙලා නොදැක්ක වාගේ පලයන් පුතේ...

දැන් අපේ කතා නායකයා (දීමන්ත ගොයිය) ඉස්සර ඉදන්ම පොඩ්ඩක් "පොරත්වයට" ලැදියාවක් තියන ජොකියෙක්. (තාම එහෙමද දන්නේ නෑ.) ඔන්න ඔය නිසා පොර අපේ ඉස්කෝලේ කරාටි මරාටි ගුජරාටි ආදී එකී නොකී දේවල් නොසෑහෙන්න කොරා.. කොරා විතරක්නම් කමක් නෑ. පන්තියට ඇවිල්ලත් ඉන්නේ නිකන් මෝල් ගහක් ගිලපු ඇටි කුකුලා වගේ.. ඇවිදින්නේ ස්ලෝ මෝෂන්.. කවුරු හරි විහිලුවට අත පය දික් කොරොත් බ්‍රුස් ලීගේ මල්ලිගේ පුතා වගේ ගාඩ් කරනවා විතරක් නෙමේ කටින් "ෂිකා", "ෂි" වගේ සද්දත් පිට වෙන එක අලුත් දෙයක් උනේ නෑ ...

ඒවිතරක් නම් මදෑ, අතු පතු ගාන කොස්සක් ඉදලක් අහු උනොත් අර බෑන්ඩ් එකේ ඉස්සරහ ඉදන් පොල්ල කරකවන අයිය වගේ කරකවනවා, උඩ දානවා එක කෙලියයි. වැඩේ නවතින්නේ වෙන එකෙක්ගේ ඔලුවකට කොස්ස පාත්වෙලා තමා.. මේ වැඩේ මල වදයක් උනත් ඕනෙම දේක කුප්ප වර්ෂන් හොයාගන්න අපේ අතිජාත කපිලය මුගෙන් ෆන් එකක් ගන්න ක්‍රමයක් හොයාගත්ත.

දැන් වැඩේ වෙන්නේ මෙහෙමයි.. මගේ පරණ පොස්ට් කියවපු අය දන්නවා අපේ පන්තියේ පිටිපස්සේ හොදට ඉඩ තියනවා කියල. (ඔව් ඔව් ක්‍රිකට් ගහල මාට්ටු උන තැන තමා). දන්නේ නැත්නම් ඔය ලින්ක් වලින් ගිහින් කියවල එන එකයි තියෙන්නේ. වටේ පිටේ ඉන්න ඔක්කොමල ඔතනින් අයින් කරලා කල්පය එනවා මයික් එක වගේ මාකර් පෙන් එකකුත් අරගෙන සබාවට හරියට නිකන් අර රෙස්ලින් මැච් එකක මුලින් නම් කියන එකා එනවා වගේ..

කල්ප: ඔව් සහෝදර සහෝදරියනි... විශේෂයෙන්ම සහෝදරයන් නැති සහෝදරියනි, දුවලා සිටින දෙමාපියනි... දැන් මේ ඔබ සැම පුල පුලා බලාසිටි ඒ මහා කරාටි විස්කම් සංදර්ශනය ආරම්බ වීමට තව ඇත්තේ ඉතාමත් සුළු වෙලාවක්. ඇත්තටම ඉතින් මම අද අපේ සංදර්ශනය වර්ණවත් කරන කරාටි තරුව, ඇත්තටම කරාටි සුර්යයා කිව්වොත් වඩා සුදුසුයි මම හිතනවා. ඇත්තටම ඔහු ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නෑ.. වැඩි කැටයම් නැතුව මම කෙලින්ම ඔහුව සබාවට කැදවන්නම් සාදරයෙන් පිළිගන්න අපේ කරාටි දීමන්ත....

මේ ඔක්කොම කලින් ප්ලැන් කරපු විදියට අපේ එකෙක් කල්පගේ අර කැමරා පොන් එකෙන් වීඩියෝ කරනවා(මේක කියවන එකෙක් ලග ඒ වීඩියෝ එක තියනවනම් එවපල්ලා. මම ඒක මෙතන අප්ලෝඩ් කරන්නම්) 

දැන් ඉතින් අපේ දිමන්තය ඉතින් ඉන්නේ පොලවේ නෙමේ 10 වෙනි තට්ටුවේ විතර (අපේ බිල්ඩින් එකේ තිබුනේ තට්ටු 3යි)  පොර ඔන්න එනව සබාවට ආඩම්බරෙන්. විහිලුවට නෙමේ.. මේ වෙන්නේ ඌ බයිට් වෙනවා කියන එක තේරුම් ගන්න තරම් හැකියාවක් ඕකට තිබුනේ නෑ ඒ දවස් වල. දැන් කොහොමද දන්නේ නෑ..

කල්ප: ඔව් දීමන්ත මහතාණෙනි කියන්න බලන්න ඔබගේ කරාටි ජිවිතයේ රන්කිරි කට ගෑවේ කොයි කාලේද කියල..

දිමන්ත : මම මොන්ටිසෝරි කාලේ ඉදන්ම කරාටි ක්‍රීඩාවේ නිරත වෙනවා..

කල්ප : අන්න බලන්න සුපෙම්වතුනි හැකියාව.. මට හොදටම විස්වාසයි මොන්ටිසෝරි දීමන්ත උනත් මට දෙකට කැඩෙන්න ගහන්න පුළුවන් තත්වෙක ඉන්න ඇති කියල.. (මේක විහිළුවක් උනාට. පොඩි ඇත්තකුත් තියනවා. අපේ ඒ කාලේ පොටෝ දැකපු කෙනෙක්ට මම මෙහෙම කියන්නේ ඇයි කියල තේරෙයි)

කල්ප: හරි අපි දැන් කෙලින්ම සංදර්ශනයට යොමුවෙමු. දීමන්ත පෙන්නනකො අපිට පොඩි කරාටි ෂොට් ටිකක්.. 

මෙන්න මූ අත පය දිග ඇරලා අර කරාටි ගහන අය කුකුල හුස්ම ගන්නවා වගේ පුම්බල හුස්ම ගන්නේ.. අන්න එහෙම කරලා කාරිය දැම්මේ නැද්ද කරාටි පාරාවක් දෙක තුනක්.. අපි හිතුවටත් වඩා දැන් වැඩේ නැගල යනවා...


කල්ප: අතිවිශිෂ්ටයි...මට අදහගන්නත් බෑ.. ඔතරම් සද්දන්ත සරිරයක් ඇති ඔබ කොහොමද මේ තරම් නම්‍යශීලි කියල. හරි දැන් අපි අපේ ඊලග අංගයට යමු..

දීමන්ත: ඒ මොකද්ද බන් ඒ??

අපි දෙන්නෙක් එක පාරටම පුටු දෙකක් සබාව මැද්දෙන් ගෙනත් තිබ්බ්බ. තව එකෙක් පන්තියේ කොස්ස ගෙනල්ල ඒ දෙක මැද්දෙන් තිබ්බ.

කල්ප: දැන් ඔබට තියෙන්නේ ඔබේ යෝද විරිය යොදල මේ කොස්ස කඩන්න.. 

මුගේ ඇස් රතු උනා.. මොකද පුටු දෙක ගොඩක් ලගින් තියෙන්නේ.. බෑ කියන්නත් බෑනේ.. පොර කොහොම හරි අපි එපා කියද්දීම පුටුදෙක සෑහෙන්න දුරකට ඈත් කරා.. ඒවිදියට තියල මැද්දට ගැහුවම කඩන්න මු ඕනේ නෑ.. 5 වසර පොඩි එකෙක්ටත් පුළුවන්. හැබැයි අපි අපේ ආතල් එක නැති කරගත්තේ නෑ ඕව කියන්න ගිහින්... මු කොහොම හරි "ෂා.. ශූ..ශී.." ගාල මැද්දට දුන්න පාරක් පොස්ස දෙකට කැඩෙන්න.. 


අපේ සෙට් එකේ ආතල් එක උපරිමේ. කට්ටිය හුරේ කියල චියර් එක.. මූ ආඩම්බරෙන් නැවෙනවා තෑන්ක් යු කියනවා එක කෙලියයි..

කොහොම කොහොම හැටි ඔහොම පටන්ගත්ත කොසු කැඩිල්ල සතියට කොසු ඉදල් 3-4 ක් අනිවා කඩෙන මට්ටමට ගියා.. අන්තිමට ජනෙලෙකින් ගලවපු විදුරුවකුත් මු කැඩුව.. එදානම් අපි ඇගේ ලේ නැතුව හිටියේ, මුගේ අතක් පයක්වත් කැපෙයිද කියල. අපිටත් ඉතින් ආතල් එකක් සෙට් උනාම බ්රේක් නෑනේ.. කොහොම හරි තුවාලයක් උනේ නෑ..(ඔය කඩපු වීදුරුවෙන් තමා මම තුමා ඇතුළු කට්ටියක් තීන්ත හීරුවේ)

තව දවසක් මූව ෆෝම් කරලා පන්තියේ ඔක්කොමල මුගේ බඩට අතට ගැහුවා හුරේ කියල.. ඒවෙලාවේ ඉවසගෙන ඉදල ගෙදර ගිහින් අම්මට කියල තෙල් ගාගන්න ඇති..

මේ කියන දිමන්තය සුනාමි වෙලාවේ කෝච්චියෙ ඉදල උගේ තාත්ත නැතිඋනා.. හැබැයි ඔය කතාව රෝටරියේ දෙය්යගේ ක්ලාස් එක ඇතුළු ක්ලාස් ගනනාවක ස්ටජ් එකට නැගල කියපු එකයි, ගියපු හැම ක්ලාස් එකකින්ම ෆ්‍රී කාඩ් ගත්ත හැටියි, ගෙදරින් දුන්න ක්ලාස් ෆීස් සල්ලි වලින් පෝන් එකක් ගත්ත හැටියි තවත් කතන්දර තමා.. පස්සේ දවසක බලමු ඒවා කියන්න.. එහෙනම් අපි කැපුන..

කතාවේ රසවින්දනය ඉහල දැමීමට යම් යම් ඉස්තාන කතෘ විසින් කතාවට ගැලපෙන ආකාරයට වෙනස් කරන ලදී කිව්වලු...

මමයි 2014යි....



අප්පා.. සෑහෙන්න කාලෙකින් මේපැත්තෙ එන්නත් බැරි උනා.. ඔෆිස් වැඩයි, අනිත් වැඩයි ඔක්කොමත් එක්ක එකක් බ්ලොග් ලියනව කියන්නෙ ලෙහෙසි පහසු වැඩක් නෙමේ. වැඩට ගිහින් ගෙදර ආවම මොන බ්ලොග්ද, ෆිල්ම් එකක් දාගෙන ඇදට වැටෙන එක තමා එකම නිවන. (ඇත්තම කියනවනම් වෙලාවක් නතුව නෙමේ, කම්මැලි කම.. ලොල්ය..) කොහොමෙන් කොහොම හරි සෑහෙන්න කාලයක් ගෙවිල ගියා දන්නෙම නැතුව. අපිට නොතේරීම ඔරලෝසුව කැරකෙන පිස්සුවෙන් වගේ. යාන්තන් පොඩි වෙලාවක් හොයාගත්ත මොනව හරි කොටන්න. 

දැන් ඉතින් මාතෘකාවට එන්නම්කො,  2014 වසර ලැබුවත් හරි මගෙ ජීවිතේ ලොකුම ලොකු වෙනසක් උනා. සමහර අය දන්නවත් ඇති මම දැන් ඉන්නෙ ලන්කාවෙ නෙමේ. ලන්කාවට කිරි පිටි එවන පට්ටි ගොන්නු ඉන්න රටේ. අම්මල තාත්තලගෙ සල්ලි වලටයි, මගෙ කැපවීමටයි පින් සිද්ද වෙන්න මේ රටට ස්කිල්ඩ් මයිග්රන්ට් කෙනෙක් විදියට එන්න පුලුවන් උන එක ලොකු දෙයක්. ලන්කාවෙ වරදක් කියනව නෙමේ, ඒත් ලන්කාවෙ කොච්චර පඩියක් ගත්තත් කනව බොනව ඇරෙන්න ඉතුරුවක් කරල පොඩ්ඩක් ඔලුව උස්සල අම්මල තාත්තල හදල දුන්න දේ වැඩි දියුනු කරගන්න හරි අමාරුයි කියල හිතුන නිසයි මේවගේ තීරනයක් ගත්තෙ. කොහොමෙන් කොහොමෙන් හරි ඔන්න ආව කියමුකො, ඊලග කෙලිය ජොබ් කට්ටක් හොයාගන්න එක. ලන්කාවෙ උබල අපි ඔක්කොම හිතන් ඉන්නෙ රට ගියාම ඔක්කොම අතට පයට ලැබෙනව කියල. වෙන රටකට යන්නම ඕනෙ ඒකෙ රගේ තේරෙන්න. ඔන්න ඔහොම තමයි මගේ මේ අලුත් අවුරුද්ද පටන් ගත්තෙ. සෑහෙන්න කාලෙකින් ඉන්ටවිව් වලට එහෙම ගියෙ නැති නිසා ඒකත් පොඩි චැලෙන්ජ් එකක් උනා. මුල් දවස් වල තනියම කාමරේකට වෙලා ජොබ් ඇඩ්වයිස් කරන සයිට් බල බල ඇප්ලිකෙශන් දාන එකෙයි, ඉන්ටවිව් ආවම නෙට් එක කනපිට ගහල කොම්පනිය ගන හොයන එකෙයි පොඩි ජොලියක් නැත්තෙම නෑ.

පොඩ්ඩක් කට්ට තමයි, හැබැයි මටනම් ඒ කට්ටෙ ප්රතිපල ලොවෙත් ලැබුන. දෙයියනේ කියල පරන පිනක් පලදීලද කොහෙද මට මාසයක් යන්නත් ඉස්සෙල්ල එලම කිරි ජොබක් සෙට් උනා. ලන්කාවෙදි ගත්ත අත්දකීම් එක්කම තවත් ගොඩක් දේවල් ජොබ සෙට් කරගන්න උදව් උනා කියලනම් කියන්නම ඕනෙ (මම පරන පිනක් පලදුන්න කියල කිව්වෙ මෙහෙ කොල්ලො ජොබ් නැතුව කන කට්ට ඇස් දෙකෙන්ම දැක්ක නිසා). පොඩි කොස්සකට තියෙන්නෙ මගෙ ලොක්ක අර අපිට ලග ජන්ගිය වගේ රටේ යට හරියෙ ඉපදුන ගෑනියෙක්. ඒකි මෙහෙට ඇවිල්ල දනට අවුරුදු 12ක් විතර වෙනවලු. පෙනුමත්, කතාවත්, වැඩත් තාමනම් අව්ලක් නෑ. හැබැයි කොයි වෙලාවෙ අර උප්පත්ති රටේ ගතිය මතුවෙයිද කියන එක තමා මට තියන බය. අව්ලක් නෑ, අපිත් ලෝකෙ කාල වතුර බීල ඉන්න පොරවල් නිසා එන එන විදියට ගහ උලුවස්සා කියල ඉන්න තීටනය කරා.

හොදම වැඩේ තමයි මේ කොම්පැනියෙ ලෝක බෝලෙන් බාගයක් විතර ඉන්නව. දකුනු අප්ප්රිකානුවො, රසියාවො, කොරියාවො, පිලිපිනියො, චෑන් චූන්ල, ජප්පො, ඉරානයො, රැජිනගෙ කොල්ලො, ප්රන්ශ බුවාල වගේ එකී නොකී ඔක්කොම රටවල් නියෝජනය කරන උන් මේ එක වහලක් යට ගින්දර වගේ වැඩ කරනව. එක එක රටවල ජොන්ටො එක්ක වැඩ කරන එකෙත් හෙනම ලොල් එකක් තියනව.
හැමදාම වගේ මේ කොමපැනියෙත් පොඩිම එකා මම තුමාලු. මට පොඩ්ඩක් හරි ලගින් ඉන්න එකා මට වඩා අවුරුදු 4ක් වැඩිමල්. අනේ ඉතින් ඉන්න ඔක්කොමල මට ඉතින් පුතෙක්ට වගේ සලකනව. ආදරේ බෑ..

ඔන්න ඔහොම තමා ඩන් මගේ ජිවිතේ ගතවෙන්නෙ. ඉස්සරහටනම් මොන මොනව හරි කුරුටු ගාන්න වෙලාවක් තියෙවි වගේ.. මොකඩ කිව්වොත් අපි ලන්කාවෙ පැයට කරන වැඩ මුන් දෙයියනේ කියල තොල හපාගෙන දවසක් දෙකක් අඩුම ගානෙ කොරනව.

දැනට මේ ඇති වගේ. බොහොම ඉක්මනට "පාසලේ විත්ති" එකක් දෙකක් කොටන්න හිතන් ඉන්නව. බලමුකෝ.. එහෙනම් අපි කැපුන...