Showing posts with label මගේ දිනපොත. Show all posts
Showing posts with label මගේ දිනපොත. Show all posts

Thursday, February 27, 2014

මමයි 2014යි....



අප්පා.. සෑහෙන්න කාලෙකින් මේපැත්තෙ එන්නත් බැරි උනා.. ඔෆිස් වැඩයි, අනිත් වැඩයි ඔක්කොමත් එක්ක එකක් බ්ලොග් ලියනව කියන්නෙ ලෙහෙසි පහසු වැඩක් නෙමේ. වැඩට ගිහින් ගෙදර ආවම මොන බ්ලොග්ද, ෆිල්ම් එකක් දාගෙන ඇදට වැටෙන එක තමා එකම නිවන. (ඇත්තම කියනවනම් වෙලාවක් නතුව නෙමේ, කම්මැලි කම.. ලොල්ය..) කොහොමෙන් කොහොම හරි සෑහෙන්න කාලයක් ගෙවිල ගියා දන්නෙම නැතුව. අපිට නොතේරීම ඔරලෝසුව කැරකෙන පිස්සුවෙන් වගේ. යාන්තන් පොඩි වෙලාවක් හොයාගත්ත මොනව හරි කොටන්න. 

දැන් ඉතින් මාතෘකාවට එන්නම්කො,  2014 වසර ලැබුවත් හරි මගෙ ජීවිතේ ලොකුම ලොකු වෙනසක් උනා. සමහර අය දන්නවත් ඇති මම දැන් ඉන්නෙ ලන්කාවෙ නෙමේ. ලන්කාවට කිරි පිටි එවන පට්ටි ගොන්නු ඉන්න රටේ. අම්මල තාත්තලගෙ සල්ලි වලටයි, මගෙ කැපවීමටයි පින් සිද්ද වෙන්න මේ රටට ස්කිල්ඩ් මයිග්රන්ට් කෙනෙක් විදියට එන්න පුලුවන් උන එක ලොකු දෙයක්. ලන්කාවෙ වරදක් කියනව නෙමේ, ඒත් ලන්කාවෙ කොච්චර පඩියක් ගත්තත් කනව බොනව ඇරෙන්න ඉතුරුවක් කරල පොඩ්ඩක් ඔලුව උස්සල අම්මල තාත්තල හදල දුන්න දේ වැඩි දියුනු කරගන්න හරි අමාරුයි කියල හිතුන නිසයි මේවගේ තීරනයක් ගත්තෙ. කොහොමෙන් කොහොමෙන් හරි ඔන්න ආව කියමුකො, ඊලග කෙලිය ජොබ් කට්ටක් හොයාගන්න එක. ලන්කාවෙ උබල අපි ඔක්කොම හිතන් ඉන්නෙ රට ගියාම ඔක්කොම අතට පයට ලැබෙනව කියල. වෙන රටකට යන්නම ඕනෙ ඒකෙ රගේ තේරෙන්න. ඔන්න ඔහොම තමයි මගේ මේ අලුත් අවුරුද්ද පටන් ගත්තෙ. සෑහෙන්න කාලෙකින් ඉන්ටවිව් වලට එහෙම ගියෙ නැති නිසා ඒකත් පොඩි චැලෙන්ජ් එකක් උනා. මුල් දවස් වල තනියම කාමරේකට වෙලා ජොබ් ඇඩ්වයිස් කරන සයිට් බල බල ඇප්ලිකෙශන් දාන එකෙයි, ඉන්ටවිව් ආවම නෙට් එක කනපිට ගහල කොම්පනිය ගන හොයන එකෙයි පොඩි ජොලියක් නැත්තෙම නෑ.

පොඩ්ඩක් කට්ට තමයි, හැබැයි මටනම් ඒ කට්ටෙ ප්රතිපල ලොවෙත් ලැබුන. දෙයියනේ කියල පරන පිනක් පලදීලද කොහෙද මට මාසයක් යන්නත් ඉස්සෙල්ල එලම කිරි ජොබක් සෙට් උනා. ලන්කාවෙදි ගත්ත අත්දකීම් එක්කම තවත් ගොඩක් දේවල් ජොබ සෙට් කරගන්න උදව් උනා කියලනම් කියන්නම ඕනෙ (මම පරන පිනක් පලදුන්න කියල කිව්වෙ මෙහෙ කොල්ලො ජොබ් නැතුව කන කට්ට ඇස් දෙකෙන්ම දැක්ක නිසා). පොඩි කොස්සකට තියෙන්නෙ මගෙ ලොක්ක අර අපිට ලග ජන්ගිය වගේ රටේ යට හරියෙ ඉපදුන ගෑනියෙක්. ඒකි මෙහෙට ඇවිල්ල දනට අවුරුදු 12ක් විතර වෙනවලු. පෙනුමත්, කතාවත්, වැඩත් තාමනම් අව්ලක් නෑ. හැබැයි කොයි වෙලාවෙ අර උප්පත්ති රටේ ගතිය මතුවෙයිද කියන එක තමා මට තියන බය. අව්ලක් නෑ, අපිත් ලෝකෙ කාල වතුර බීල ඉන්න පොරවල් නිසා එන එන විදියට ගහ උලුවස්සා කියල ඉන්න තීටනය කරා.

හොදම වැඩේ තමයි මේ කොම්පැනියෙ ලෝක බෝලෙන් බාගයක් විතර ඉන්නව. දකුනු අප්ප්රිකානුවො, රසියාවො, කොරියාවො, පිලිපිනියො, චෑන් චූන්ල, ජප්පො, ඉරානයො, රැජිනගෙ කොල්ලො, ප්රන්ශ බුවාල වගේ එකී නොකී ඔක්කොම රටවල් නියෝජනය කරන උන් මේ එක වහලක් යට ගින්දර වගේ වැඩ කරනව. එක එක රටවල ජොන්ටො එක්ක වැඩ කරන එකෙත් හෙනම ලොල් එකක් තියනව.
හැමදාම වගේ මේ කොමපැනියෙත් පොඩිම එකා මම තුමාලු. මට පොඩ්ඩක් හරි ලගින් ඉන්න එකා මට වඩා අවුරුදු 4ක් වැඩිමල්. අනේ ඉතින් ඉන්න ඔක්කොමල මට ඉතින් පුතෙක්ට වගේ සලකනව. ආදරේ බෑ..

ඔන්න ඔහොම තමා ඩන් මගේ ජිවිතේ ගතවෙන්නෙ. ඉස්සරහටනම් මොන මොනව හරි කුරුටු ගාන්න වෙලාවක් තියෙවි වගේ.. මොකඩ කිව්වොත් අපි ලන්කාවෙ පැයට කරන වැඩ මුන් දෙයියනේ කියල තොල හපාගෙන දවසක් දෙකක් අඩුම ගානෙ කොරනව.

දැනට මේ ඇති වගේ. බොහොම ඉක්මනට "පාසලේ විත්ති" එකක් දෙකක් කොටන්න හිතන් ඉන්නව. බලමුකෝ.. එහෙනම් අපි කැපුන...

Friday, November 30, 2012

සොෆ්ට්වෙයාර් ෆීල්ඩ් එකේ On-Site ගිය ආධුනිකයෙකුගේ අත්දැකීම්....





වැඩ රාජකාරි  සහ තවත් දහසකුත් එකක් දේවල් නිසා පහුගිය ටිකේ පොස්ට් එකක් දාන්න තියා බ්ලොග් එකට එන්නවත් වෙලාවක් තිබුනේ නෑ . දැන් උනත් වැඩ නැතුව නෙමේ, මේ කතාව ලියන්නම ඕනේ කියල හිතුන නිසා තමයි මම මේ අමාරුවෙන් වෙලාවක් හදාගෙන කොටන්න ගත්තේ.. 
සෑහෙන්න කාලෙකින් කොටන නිසා වෙලාවත් යනවා වගේ.. කමක් නෑ, බලමුකෝ..

ඔයාල කවුරුත් දන්නවා වගේ මම මේ බ්ලොග් එක ලියන්නේ මගේ අදහස් එලියට දාන්න. තව අවරුදු 10කින් මම කොච්චර වෙනස් වෙලාද, මම හිටියේ කොතනද කියල දැනගන්න තමා මට මුලින්ම ඕනේ උනේ. 
මම මේ දැන් ලියන්න යන්නෙත් මහේ ජිවිතයේ අත්දැකීමක්, මට දැනෙන විදියට.

සමහර වෙලාවට මට දැනෙන විදිය වැරදි වෙන්නත් පුළුවන්. දැන් වැල් වටාරම් ඇති කතාවට බහිමු.

මුලින්ම ටොපික් එක විස්තර කරන්නම්. සොෆ්ට්වෙයාර් ෆීල්ඩ් එකේ On-Site යවනවා කියන්නේ සෑහෙන්න හොද දෙයක්. හෙනම මොටිවේෂන් අප් කරන කෙස් එකක්. මමත් On-Site යවනවා කිව්වම හෙන කික් එකේ හිටියේ.

කලින් ගියපු හොද යාළුවො ගො දක් අවවාද දුන්න වැඩේ වෙන්නේ කොහොමද, On-Site කතාවේ තිත්ත හරිය එහෙම මට කියල තිබුනේ. නමුත් මට ඒක හරියට තේරුනේ නෑ. අනිත් හැමෝටම වගේ මට හිතුනෙත් මේ ඉරිසියාවට කියන කතා කියල. දැන් තමා ඒ කියපු උන්ගේ කටවල් වල සුකිරි බෝල බෝල දාන්න ඕනේ කියල හිතෙන්නේ.

මම මෙතන සුන්දර මෙන්ම තිත්ත ජාති දෙකේම අත්දැකීම් කියන්න බලාපොරොත්තු වෙනවා. කියවන්න කලින් මට ලැබුන චාන්ස් එක මොනවගේ එකක්ද කියල දැනගන්න ඕනෙනේ 
  1. මට යන්න ලැබුනේ පර සුද්දගේ රටට (ඇමරිකාවට). කලින් පර සුද්ද කිව්වට දැන් නම් මගේ ඒ අදහස ගොඩක් වෙනස් වෙලා.. 
  2. ලංකාව එක්ක වෙලාවේ වෙනස පැය 12.30 (කෙටියෙන්ම කිව්වොත් මට උදේ කියන්නේ අපේ ලංකාවේ ටීම් එක නිදි, නැත්නම් පව්ලේ අයත් එක්ක) මේක තමා ක්රිටිකල්ම පොයින්ට් එක. හොදට මතක තියාගන්න.
  3. මට එන්න ලැබුන ප්රාන්තේ හරි ලස්සනයි දේශගුනේ හොදයි.. ලංකාවේ නුවර එලිය වගේමයි..
  4. On-Site එනකොට මගේ මේ කොම්පැනියේ අද්දැකීම් අවරුදු 1.5 වගේ. (සමහර ඩොමේන් සම්පුර්ණයෙන් ගොඩ දාන්න අවරුදු 5-6 ක් යනවා කියල දන්නෝ දනිත්. අපේ ඩොමේන් එකත් ඒවගේ එකක්. මේ වගේ අවස්ථාවක අනිත් සීනියර් අයගේ උදව්ව ගොඩක් අවශ්‍ය වෙනවා) මේක තමා දෙවෙනියට ක්රිටිකල්ම පොයින්ට් එක. මේකත් හොදට මතක තියාගන්න.

දැන් කතාව පටන් ගමු..

මුලින්ම අලුත් රටකට එනකොට හෙනම ආතල්.. පරිසරය වෙනස්, මිනිස්සූ වෙනස්.. කුණු ගොඩක් උනත් පට්ට ලස්සනයි (ලංකාව වගේ නෙමේ මෙහෙ ඇත්තටම කුණු ගොඩවලුත් ලස්සනයි). කලින් ප්ලේන් එකක ගිහින් නැත්නම් ඒ ආතල් එකත් තියනවා (මම කලින් පියාබල තියන නිසා එකනම් වැඩි අතල් එකක් නැ) නමුත් පැය 21ක් ප්ලේන් එකේ එනවා කියන්නේ ලේසි වැඩක් නෙමේ. අපිව කොහොමත් එවන්නේ ඉකොනොමි ක්ලාස් එකේ නිසා වැඩේ තවත් හොදයි.. කොහොම කොහොම හරි ආව කියමුකෝ.. දැන් තමා වැඩේ පටන් ගන්නේ..

වෙලාවේ අවුල මුලින්ම එන්නේ මේ වෙලාවට තමා... මුල් දවස් ටිකේ රෑට නින්ද යන්නේ නෑ, දවල්ට ඇහැරන් ඉන්න බෑ. මේකට කියන්නේ ජෙට් ලැක් කියල.. මට සතියක් විතර මේ ආතල් එක තිබුන මෙහෙම කියල අපිට එන වෙන වැඩ වල අඩුවක් නෑනේ. නිදි මරාගෙන හරි වැඩේ ඉවර කරන්න ඕනේ..
(අසුන්දර මතක 1)

සති අන්තේ කිට්ටුවෙනකොට ගූගල් දෙය්යව කන්න හදනවා යන්න තැනක් හොයල. කොහොම හරි හැම සති අන්තෙම කොහේ හරි ලස්සන දෙයක් බලන්න තියන පැත්තකට ආව එක ගැනනම් පින් සිද්ද වෙන්න ඕනේ.
(සුන්දර මතක 1)

ඊලග කෙලිය උයන එක, කවද කාපු ටකරන්ද, උයන එක ලේසි වැඩක් නෙමේ.. නොකා ඉන්නත් බෑනේ.. සුද්දගේ කාම හැම වේලටම කන්නත් බෑ.. මෙලෝ රහක් නෑ... ඉතින් අමාරුවෙන් හරි උයන්න වෙනවා.
(අසුන්දර මතක 2)

දැන් තම ටික ටික හොදම හරියට එන්නේ. ලන්කාවෙදිනම් දන්නේ නැති දෙයක් තිබුනම දන්නා සීනියර් කෙනෙක්ගෙන් ලගට ගිහින් අහගන්නවා... මෙහෙදී කොහෙන්ද එහෙම බූල් පුසෝ.. එක්කෝ ගූගල් කරන්න ඕනේ. සිස්ටම් එක ගැන ගූගල් කරන්නත් බෑනේ. එක්කෝ පරණ ස්පෙක් කියවන්න ඕනේ. ලංකාවේ සොෆ්ට්වෙයාර් කොම්පැනි වල සොෆ්ට්වෙය හැදුවට ඒවට ස්පෙක් කොච්චාර හොදට ලියල තියනවද කියල දන්නෝ දනිත්.. එහෙමත් නැත්නම් දන්නා කෙනෙක්ගෙන් අහන්න ඕනේ.. දන්නා කෙන්ක්ගෙන් අහන්න බෑ අපි වැඩ කරන වෙලාවට දන්න උන් තමාගේ වඉෆ් එක්ක, නැත්නම් දරුවෝ එක්ක... කතා කරොත් කියල දෙවි අව්ලක් නෑ කියල.. ඊත් මටනම් එහෙම කරන්න හිතුනේ නෑ .. හිතෙන්නෙත්  නෑ .. ඉතුවෙලා තියන එකම විසදුම මේල් එකක් දාන එක. 
ඔන්න මෙතනින් තමා ජිවිතේ තිත්ත වෙන්නෙ.. මේල් එකක් දැම්මට රිප්ලයි නෑ .. වැඩ වැඩි නිසා රිප්ලයි කරන්නේ නැද්ද, ගණන් ගන්නේ නැද්ද, වැඩක් නෑ  කියල හිතනවද, දන්නේ නෑ.. හැබැයි ඒක එහෙම තමයි.. අන්තිමට අපිට වැඩේ ඉස්සරහට ගෙනියන්න විදියක් නැ.. ලොක්කට දවස අන්තිමට අප්ඩේට් එකක් දෙන්නත් ඕනේ. අර මේල් එකට රිප්ලයි නෑ  කියල අදාල මිනිහව පාවල දෙන්නත් දිව නැමෙන්නේ නෑ... මොනවා කරන්නද වැරැද්ද තමන් පිට පවරාගෙන වැඩේ කරන්න උනේ නෑ කියල කියනවා ඇරෙන්න.
දැන් ටික ටික ලොක්කගේ අපි ගැන තිබුන හොද පින්තුරේ කළු පාට වේගෙන එනවා. දවස ගානේ වැඩ එනවා, දන්නේ නැති දේවල් අහල අපි මේල් දානවා, උත්තර නෑ . වැඩේ කරන්න උනේ නෑ  කියල අප්ඩේට් දෙනවා 
ඔය විදියට ටික කාලයක් යනකොට ඉවසීමේ සීමාව පනින අවස්ථාත් එනවා. උදාහරණයක් ගත්තොත්, සමහර වෙලාවට එක එක මේල් එනවා අරක කරපන් මේක කරපන් කියල එක එක අයගෙන්(ලොක්කාගෙන් නෙමේ. ලොක්ක මොක කිව්වත් කරන්න වෙනවනේ. මම මේ කියන්නේ ලොක්කව හලලා කෙලින්ම ලැබෙන ඕඩර් ගැන ). කොම්පැනියේ උඩ  ඉන්න හැත්තෑ බුරුත්තම Cc  කරලා. තමන් ලකුණක් දාගන්නද, ඒ අදාළ පුද්ගලයන්ගේ විදියද දන්නේ නෑ. (යම් යම් අදාළ අවස්ථාවල ලොකු ලොකු අයව Cc කරයුතුයි. මම මේ කතාකරන්නේ එහෙම ඒවා ගැන නෙමේ) එහෙමත් නැත්නම් නිව් මේල් එක ගත්ත හැටියේ ඒ ඔක්කොමල ඩිෆෝල්ට් Cc විදියට ඇඩ් වෙනවද දන්නෙත් නෑ. හැබැයි ඒක වෙන්නේ ඔන්න ඔහොම තමා. ඔන්න ඔහොම සමහර පුද්ගලයන් ගැන අපේ ඔලුවේ තිබුන පින්තුරේ වෙනස් වෙනවා..
අපිට පේන්නෙම ලෝකල් ටීම් එක එකතුවෙලා අපිට අරින්න හදනවා වගේ.. ඇත්තටම එහෙම නෙවේ කියල දන්නවා.. (ටීම් එකම නැති උනත්, යම් යම් අවස්ථාවල පවුද්ගලික තරහවල් පිරිමහනවද කියල හිතෙන අවස්ථාත් නැතුව නෙමේ) කොහොම හරි අන්තිමට අපේ හිතෙන් අනිත් අයව සතුරන් විදියට සලකන්න වෙන තත්වෙට අකමැත්තෙන් උනත් පත්වෙනවා.. ඕකට සිංහලෙන් කියන්නේ "වර්චුඅල් හතුරන්" හදාගන්නවා කියන එක තමා.
(අසුන්දර මතක 3-5000)

ඔයත් එක්කම On-Site ඉන්න කොට වෙන තවත් ජංජාලයක් තමා ලයිව් සිස්ටම් එකේ මොකක් හරි අව්ලක් උනොත් ඔලුවට කඩාපාත් වෙන එක. ලයිව් සිස්ටම් එකේ අව්ල් ලේසි වෙන්නේ නෑ. හෙනම අංජබජල්. මගේ කරුමෙට එදා මෙදා තුර අතීතේ අපිට සෙට් උන චොරම බග් (ලොකුම නෙමේ, චොරම - තවත් විදියකට කිව්වොත් ලයිව් සිස්ටම් එකේ තියන අපිට රී-ප්රෝඩුස් නොවෙන) එක මම ඉන්න කාලේ ආව. ඒ සයිඩ් එක මම ටිකක් දන්නා එක වාසියක් උනත්, නොදන්නා දේවල් අනන්තයි කියල මට හොදට තේරුණා. කෙලින්ම මේල් එන්නේ ලොකු ලොක්කන්ගෙන්, මේල් විතරක්නම් කමක් නෑ දවසට එකක් දෙකක් කෝලුත් එනවා. මේවට අනිවා උත්තර දෙන්න ඕනේ. මම දෙන උත්තරේ බලපාන්නේ මට විතරක් නෙමේ, හැමෝටම ඒක බලපානවා. මේ වගේ අවස්ථාවල ලෝකල් ටීම් එකේ සහය උපරිමයෙන් බලාපොරොත්තු උනත් තබ සතේක උදව්වක් ලැබුනේ නෑ කියම අකමැත්තෙන් උනත් කියන්න වෙනවා... මම දාපු මේල් වලට රිප්ලයි කරොත් තමන්ටත් මේ කුණට කරගහන්න වෙයි කියල හිතුනද මම දන්නේ නෑ. කොහොමෙන් කොහොමෙන් හරි පරණ පිනකට වැඩේ ගොඩ ගියත් ඒ අවස්ථාවේ උන කලකිරීම අයෙත් කවදාවත් හදන්න පුළුවන් වෙයි කියල මම හිතන්නේ නැ.
(අසුන්දර මතක 5001-25000)

ඔය අස්සේ අපි අපේ ජිවිතේ ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. පව්ලේ අයගෙන් වෙන් වෙලා තනියම ඉන්න එක ලේසි නෑ.. ඇත්තටම කිව්වොත් හිතෙනවට වඩා ගොඩක් අමාරුයි. වෙනද ලග ඉදන් කතාකරපු මිනිස්සු, දැන් දකින්නේ skype එකෙන් විතරයි. වැඩ රාජකාරි නිසා හැමදාම කතා කරන්න වෙන්නෙත් නෑ. වචනයක් දෙකක් කතාකරන්නත් වෙලාව හරස් වෙලා. වෙලාවකට පරණ ෆොටෝ දිහා බලාගෙන ***********************.. හැබැයි අනිත් ය ඉස්සරහ හිනාවෙලා ඉන්නවා. චැට් කරන යාලුවෝ, අපි තැන් තැන් වලට ගිය ෆොටෝ දකින ය හිතන්නේ, අපි පට්ටම ෆන් එකේ ඉන්නවා කියල. වීක් එන්ඩ් එකේ පැය කීපයකින් අපේ පාළුව මකන්න බෑ කියල තේරුම් ගන්න එන්නම ඕනේ.
(අසුන්දර මතක 25000-25010)

අපි ගෙවල් දොරවල් අස් පස් කරගන්න ඕනේ, රෙදි හොද ගන්න ඕනේ, බඩු කඩෙන් ගෙන්න ඕනේ.. වැඩ කෝටියයි.. ඔෆිස් වැඩ අස්සේ මේවත් කරන්න ඕනේ අඩුවක් නැතුව.
(අනිත් වැඩත් එක්ක බලනකොට මම මේවා වර්ග කරන්නේ සුන්දර මතක ගොඩට - සුන්දර මතක 2)

පොස්ට් එකත් හොදටම දිග වැඩි උනා.. තව ලියන්න බෑ.. කෙටියෙන් ඉවර කරන්නම්...

අන්තිමට බැලුවම On-Site එක ඉවර වෙලා ලංකාවට එන්නේ ගියපු මනුස්සය නෙමේ. එක්කෝ හොදට රත්වෙලා පදම්වෙලා මුවහත් වුන කෙනෙක්. සමහර වෙලාවට මේවා දරාගන්න බැරිකෙනෙක්නම් ලංකාවට එන්නේ, චෝර වෙලා, මානසිකව වැටුන කෙනෙක් විදියට වෙන්නත් පුළුවන්.. 

මගේ වාසනාවකට, මට හොද ලොක්කෙක් සෙට්වෙලා ඉන්නවා. ඒ ලොක්ක සහ බොහෝම අතලොස්සක් වූ පිරිසක් නිසා මමනම් ලංකාට එන්නේ මුවහත් උන කෙනෙක් විදියට. මිනිස්සු කියන්නේ කවුද කියල කැම්පස් මානසිකත්වයෙන් මිදිලා ඔෆිස් මානසිකත්වයෙන් බලල තීරණයක් ගන්න පුළුවන් කෙනෙක් විදියට, ලංකාවේ අවරුදු 5 ක් ඉදල ගන්න අත්දැකීම් සුළු කාලෙකින් ගත්ත කෙනෙක් විදියට.

බොහොම සරලව On-Site ජිවිතෙන් මම ගත්ත පාඩම්.

  1. හිටියොත් දෙකට නැමී , දෙයියොත් ***** අරී. කියල තියෙන්නේ කටකහනවට නෙමේ.
  2. යාලුකමයි ඔෆිස් ජීවිතයයි කියන්නේ දෙකක්.
  3. අපි අනිත් මිනිස්සු ගැන හිතුවට, අනිත් හැමෝම එහෙම කරන්නේ නෑ.
  4. ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න වෙන කෙනෙක්ගේ බෙල්ල උනත් කපන්න ලෙහෙස්ති අයත් අපි අතරේ ඉන්නවා.
  5. හැමෝම ශේප් එකේ තියාගෙන තමන්ගේ බෙල්ල බේරගන්න එක තමා දක්ෂ කම.
  6. වැදගත්ම ආදර්ශය "හැමෝම බොලේ පාස් කරද්දී, තමන්ට පුලුවන්නම් බෝලේ ගොඩ දාන්න, ඔයාට ලකුණු ගොඩක් වැටේවි, තමන්ට ගොඩදාන්න බැරි බෝල පුළුවන් කියල තියාගත්තොත් ඔයාට හොදටම ඇරේවි.. තමන්ට ගොඩ දාන්න පුළුවන් බොලේ ගොඩදන්නත්,  බැරි බොලේ වෙනකෙනෙකුට පාස් කරන්නත් ඉගෙන ගත්ත දාට ඔයාට හොද අනාගතයක් තියේවි.."

මම මේ පොස්ට් එකෙන් කියන්නේ නෑ On-Siteඑන එක පට්ටම චා කියල. On-Site එනකොට ඇත්තටම තමන්ට මුනදෙන්න වෙන්නේ මොනවගේ ප්‍රශ්නවලටද කියල තමන් කලින් ඉදලම ලැහැස්තිවෙලා යනවනම් තමා වඩා හොද. On-Site එනවා කියන්නේ පට්ටම අත්දැකීමක්. ඒක හොද විදියට ගන්න ඕනේ කියන්නයි මට ඕනෙ  උනේ....

එහෙනම් අපි කැපුන... තවත් දවසක හම්බ වෙමු..

Sunday, August 28, 2011

ADK කොලුවාගේ යාල සවාරිය.. - 1

අද මම කියන්න යන්නේ වැඩිය පරණ කතාවක් නෙමේ. දැනට සති දෙකකට කලින් අපි ගියා යාලේ පොඩි විනෝද සවාරියක්. අපි කිව්වේ මම සහ මගේ ඉස්කෝලේ බොකු ටික. මේක ලියන්න ටිකක් කල් ගියේ වැඩ ටිකක් වැඩි නිසා. මේ කතාව පොස්ට් දෙක තුනක් යාවි කියල මම හිතනව. අනිවා... එක දිගට වැඩිය ලියන්නේ නෑ මේ දවස වල. තරහ වෙන්න එපා...

විශේෂයෙන් කියන්න ඕනේ මේ පොස්ට් එක දාන්නේ හුදෙක් ගමනේ මතකය අලුත් කිරීමට මිසක් මඩ ගැසීමේ චේතනාවෙන් නොවෙමි(කොහොමත් මට වැඩිය මඩ ගහන්න බෑ) හිකි හිකි.

අපේ ඉස්කෝලේ සෙට් එක සාමානයෙන් අව්රුද්දකට ට්‍රිප් දෙකක් විතර යනවා. දැන් ඉස්කෝලේ ඉවර කරලා ගොඩක් කල් උනත් තාම සෙට් එක, එකා වගේ ඉන්න එක ගැන පට්ටම සතුටුයි. ට්‍රිප් එක සංවිධානයට මුල්තැන ගත්තේ වෙනද වගේම අපේ කොටා. මේ සැරේ ට්‍රිප් එක යන තැනක් හොයනකොට තමා දිලුම කිව්වේ අම්මට පුළුවන් යාල ඇතුලේ බුක් කරන්න කියල. කොහොම හරි ඔහොම ගිහින් යාල ඇතුලේ තියන බංගලාවක් බුක් කරලා එකේ දවස 3ක් ඉන්න කට්ටිය සෙට් උනා. කලින් යන්න 20ක් විතර හිටියට අන්තිමට එක එකාට එක එක වැඩ සෙට් වෙලා පොලු ගොඩක් සෙට් උනාලු.. ඔය අතරට පින්තුර ගැනීමේ උන්මාදයෙන් පෙලෙන මගේ අයියන්දඩිත් ප්ලග් උනා. මොකද යාල ඇතුලේ හොද පින්තුර ටිකක් ගන්න පුළුවන් නිසා. 

මුලින් ගමනට වෑන් එකක් සෙට් කරගත්තත් පස්සේ පොඩි රෝස බස් එකක යන්න කට්ටිය සෙට් උනා. හෂුලය කතා කරලා අපේ හොද යාලුවෙකුගේ බස් එකක් ගමනට සෙට් කරගත්ත. ෆුල් AC. ෆ්‍රිජ් එහෙමත් තියන එකක්. අලුතෙන්ම අරගෙන තාම කොහීවත් ගිහින් නෑ. දැන් කට්ටියට හෙන කික්. කොහොම හරි යන්න අන්තිම මොහොතේ (දවසකට කලින්) ඒ බස් එකට ලොකු හයර් එකක් වැදිලා දවස 10ක. මලා. දැන් මොකද කරන්නේ. කොහොම හරි කරලා වෙන බස් එකක් කතා කරගත්ත යන්න එක දවසෙන්. ඔය අතර මැද දවස් වල කලේ ඇතුලේ උයන්න දෙන්න කෑම ගන්න කඩ නැති නිසා ඒවට ඕන දේවලුත් කට්ටිය හරි හරියට සෙට් කරගත්ත. 

බුකියේ නොර්ටිෆිකේෂන් අප්පිරිය කරපු මේල් ත්‍රෙඩ් එකක් මේ සංවිදාන වැඩ වලට ගොඩක් උදවු උනා. කොහොම කොහොම හරි යන දවසේ උදේ වෙනකොට යන්න ඉතුරු උනේ 14 දෙනයි. මේ වෙලාවේ අපේ ගොන් මැක්කව, මනෙක්ව, හසිත්ව අනිවා මතක කරන්න ඕනේ. මුන් ලංකාවේ හිටියනම් අනිවා එනවා. ආයෙ දෙකක් නෑ. මොන වැඩේ තිබුනත්. (පොල් ඇට්ටිය, මාළු පාන් එහෙම ආදරයෙන් මතක කරනවා මේ වෙලාවේ දුන්න පොලු වලට.)

පසුව  එකතු කරන ලදී. (දිලුමට ස්තුතියි)
ඔය පොලු දුන්න අය අතරේ හාල් දෙන්නම් පොල් දෙන්නම් කියපු අයත් හිටියා. ඔය හාල් දෙන්නම් කියපු එකා (නමින් බෝක්කුව) නිකන් මුලින් කතාකාරේ ඌ තනියෙන් හරි යන විදියට අන්තිමට ඌත් නෑ. උගේ හාලුත් නෑ. නොදකින් මෙහෙම හැත්තක්..

ඔය ඉන්නේ අන්තිමට ඉතුරු උන සෙට් එක.

 
  1. නමින් “පැටිය” වැඩ වලින් “මහා එකා” දෙය්යනේ කියල එදා මෙදා තුර අතීතයේ කෑලි වලට ට්‍රයි කරන එකනම් නොනවත්වා කරනවා. දැන් පොඩි ජිල්පුටුස් එකක් සෙට් වෙලා ඉන්නේ.  හොදට සින්දු එහෙම කියන්න පුලුවන් ජොකියෙක් මූ.
  2. නමින් “කජ්ජ” නොහොත් ට්‍රිප් එකේ “මෑන් ඔෆ් ද සීරිස්” වැඩිය බයිට් වෙන්න නම් බෑ. කට්ටිය වැඩිය බයිට් කරන්නෙත් නෑ. (“දෙපාරකට වඩා ඇඩුවේ නෑ ට්‍රිප් එකේදී”) මු කවද හරි මැරෙන්නේ කනක් කුණුවෙලා. මොකද දවසෙ පැය 24න් 19කට වඩා පොන් එක කනේ. මෙයා ගැන කලින් පොස්ට් එකක් තියනවා. ඒක මෙතනින් ගිහින් බලන්න.
  3. ඔය මගේ අයිය කාරය. මම වැඩිය මුකුත් නොකිය ඉන්නම්. සහෝදරකම් ගහල යනවා මොනවත් කිව්වොත්.
  4. මේ නමින් “දමිත්” ඒත් හමෝම දන්නේ “කොටා” කියන ආදර නාමයෙන්. දුවන්න එහෙම හරි හපන. ඔය තරගය දිනන්න, ලයින් එක “කවන්ද” කොටස පහු කරන්න ඕනේ කියන නිතිය තමා මුට කෙලෙව්වේ. මොකද සාමාන්යෙන් ඕනෑම රේස් එකක මුට තත්පර 6-7කට කලින් “කට” ඉවර කරනවා. දිනන්න කට පහු කරාම ඇති කිව්වනම් මූ අනිවා ඔලිම්පික් ගෝල්ඩ් ඒක ලංකාවට ගේනවා.
  5. නමින් “පූට්ටුව” නමින්ම ඩයල් එක කොහොමද කියල හිතාගන්න පුළුවන් නේ. දෙය්යනේ කියල දත්ටික නැත්නම් රෑට යකෙක්ට වත් හොයාගන්න බෑ. සුරාවෙන් සුදුවෙන් තොරයි. මෙලෝ රහක් නෑ. අපේ සෙට් එකෙන් මුලින්ම බදින්න ඉනෙනේ මේක තමා.
  6. මේ ඉන්නේ හෂුලය. හාමු මහත්තය පාට් 2. මගේ ගජය. මු ගැන වැඩි විස්තර මෙතනින් බලන්න.
  7. මේ ඉන්නේ අපේ සෙට් එකේ නළුවා. නමින් යාමිත. මෙයාව ඔය හොරණ පැත්තේ ඉන්න අය හොදට දන්නවා. මොකද මෙයා ඉන්න ලොකු කට්-අවුට් එකක් හොරණ ගහල තියනවා. මේ ලගදි “GO” මැගසින් එකෙත් පොටෝ එකක් ගියා කියල රට්ටු කියනවා. ඇත්තද දන්නේ නෑ..
  8. මේ “මෝලා”. නමට ගැලපෙන වැඩ. වැඩට ගැලපෙන නම. සාමාන්යෙන් මිනිහෙක්ට තියෙන්නේ එක බුරියයි(ඔව ඔව නාබිය තමා.. ඔය බඩේ තියෙන්නේ) හැබැයි මුට බුරි තුනක්ම තියනවා. කොහොම ආවද කියල අපිනම් දන්නේ නෑ. අලියෙක වගේ හිටියට බියර් එකක් වත් බොන්නේ නැති චොර පොරක්.
  9. මේ ඉන්නේ සුපිරි කොල්ලෙක්. කට්ටිය දන්නවනේ කොල්ල ගැන.. ආයේ මොන කතාද?? හිකි හිකි
  10. මේ ඉන්නේ “ශැගිය” මුගේ බල්ල “ස්කුබී” පැනල ගිහින් සාංකාවෙන් ඉන්නේ. බැලුවොත් ඇත්නම් මු හදන්නේ “පොරක් අල්ලන්න” (ටියුබ් ලයිට් අය හෙමිට අහන්න මොකද්ද ඒ කියල.) මුහේ මාම රට ඉදන් මුට ගෙනල්ල පොන් එකක්. සුදුම සුදු පාට පොන් එකක් හාට්, සමනල්ලු ලයිට් පත්තුවෙන චයිනීස් එකක්. අර අවරුදු 5-6 පොඩි කෙල්ලෙකුට ලයිට් පත්තුවෙන පොන් එකක් දුන්න වගේ. මෙයාගේ ලිංගය ගැන තාම පොඩි සැකයක් තියන නිසා උප්පැන්න සහතිකයේ ඒ තීරුවේ ජාති දෙකම ලියල තියනවා කියල තමා ලෝකයා කියන්නේ.
  11. මේ “නදිශය”. මු ශැගියගේ කසිය... මුගේ තාත්ත තමා අරුට බඩු පොන් එක ගෙනල්ල තියෙන්නේ. පේර කැම්පස් එකේ ඉගෙන ගන්නේ. නුවර පැත්තේ හස්බන්ඩ් රට ඉන්න ඇන්ටිලා මෙයාට ගොඩක් ආදරෙයි කියල තමා රට්ටු කියන්නේ.
  12. ඔය ඉන්නේදිලුමනොහොත් හාමු මහත්තය. බිව්වට පස්සේ  කබ්බ දාන්නේ එහෙම නෑලු. කවදාවත් බිව්වට පස්සේ  “මචන් නින්ද යනකල් පිට පොඩ්ඩක් අතගාපන්කෝ..කියල කියන්නෙත් නෑලු. හිකි හිකි.
  13. මේ ඉන්නේ “චූව”. නම හැදිච්ච හැටි නම් අහන්න එපා. මූ ඉන්න හැම තැනම මී දුම වගේ. කලින් ට්‍රිප් එකේ නොනවත්වා සුරුට්ටු පත්තු කරලා තියපු රෙකෝඩ් ඒක කඩන්න පුළුවන් උටම විතරයි. අපිනම් ලොවෙත් ට්‍රයි කරන්නෙත් නෑ.
  14. මේ “නදුන්” කිසි සද්දක් බද්දයක් නෑ. ඉන්නවද නැද්ද කියලත් නෑ. අපේ මෝල එක්ක මුගේ පොඩි “පොරක්” තියනවා කියල තමා අහවල්ලු කියන්නේ. ඔය අහවල්ලු කියන කතා විස්වාස නොකරත් බෑ අප්පා...

ඔන්න ඔහොම සෙට් එකක් තමා අපේ ගමනට යන්න සෙට් උනේ. එක එක ජාතියේ මිනිස්සු ටිකක්. ඔයිං මෙයින් ගමන යන දවසේ උදේ එලි උනාලු....

ඉතුරු ටික ඊලග කොටසින් බලාපොරොත්තු වන්න...


ප.ලි. :
තාම කිසි ජොලියක් නෑ කතාවේ. මොකද තාම බෝතලයක් කැඩුනේ නෑනේ. හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු.

මේ මම ට්‍රිප් එක ගිය උන්ට කියන්නේ. තාම දවස එලබුනා විතරයි. එතනට එනකල් විතරක් මිස් උන කතා දාපල්ලා පල්ලෙහායින්... මම ඔක්කොම දැම්මේ නෑ. බොලලටත් දෙයක් ඉතුරු කරා. දැන් ඉතින් දාපල්ලා කොමෙන්ට්.

Thursday, July 14, 2011

කොළබ ආසන්නයේ බ්ලොග් කරුවන් සූ... ගා අද සෙට් ඌ වගයි....


කොළබ ආසන්නයේ සිටිනා බහුතරයක් බ්ලොග් කරුවන්ගෙන් ඉතාමත් සුළු පිරිසක් ඉතා අමාරුවෙන් සෙට් ඌ වගයි.

කට්ටිය සෙට් වෙනවා කිව්වම මම කොලුවත් ගියා මොකද ඉතින් ලොකු ලොකු බ්ලොග් කාරයෝ සෙට් වෙලා පොඩ්ඩක් අනුමත වෙලා එහෙම එන්න හිතාගෙන. උදේම මගේ වයිපරේවත් දාගෙන මම කොලුවාගේ පොඩි වාහන කට්ටෙන් ගියේ නැතා ගෝල්ෆේස් එකට. 

දුන්න කෝල් එකක් දිලිපයට 

" මචං මම මේ මට දැනෙන දේ.... ලියන ADK කොලුවා කතා කරන්නේ. උබල කොහෙද??"

"අහ්හ්.. මචං ගෝල්ෆේස් ඒකේ අර පාලම තියන තැනට වරෙන්. අපි එතන ඉන්නවා."

මමත් ගියාලු ඉතින් එතනට. පාලමේ හෙන සෙට් එකක් ඉන්නවා. මට නිකන් පික්සු වගේ. ඇයි ඉතින් මම කාවවත් දන්නේ නෑනේ. එතැනදී ආයෙත් කෝල් එකක් දුන්න. 

"කෝ මචං උබ." 

"ඔතන හිටපන් මම කළු කිට් එකක් ඇදන් ඉන්නේ. මම එන්නම්."

මෙන්න බොලේ ඈත ඉදන් එනවා කෙට්ටු සුදු ජොන්ටෙක්. 
"හලෝ මචං මම දිලීප."

"හලෝ හලෝ.."

වරෙන් කට්ටිය අතන ඉන්නවා. මමත් ඌ පස්සෙන් ගියේ නැතා.. අම්මට සිරි සූ.. ගාල තව 5 දෙනෙක් ඉන්නවා. මට පොලව පලාගෙන යන්න හිතුන. දැන් ඉතින් ආයෙත් යන්නය කියලද?? ඉතින් ඉවසන් හිටිය. ඇවිල්ල ඔය නෙයෙකුත් වල් පල් සහ දැන ඇදුනා ගැනීම් මෙන්ම දිලීප, උදිත සහ නගාගෙ මඩ සමග (මම සාමාන්යෙන් ගොඩක්ම බොක්කවල් වලට ඇරෙන්න මඩ ගසන්නේ නැති නිසාත්, මේ සෙට් එක තවම මගේ ගොඩක්ම බොකු නොවන නිසාත් මම ඔය මඩ ගැසීමෙන් වෙන්ව සිටිමි. නගා, ඉෂාර සහ චාටර් කොලුවා ඇති තාක් මඩ ගසනු ඇත.)  ටික වෙලාවක් හිටිය.  ඔය අතරේ තමන් ගැන, තමන්ගේ බ්ලොග් ගැන, බ්ලොග් කෙරුවාවේ ඉතිහාසය ගැන කට්ටිය තම තමන් හදුන්වා දුන්න.

වැඩේ කියන්නේ චැට් ඒකෙ බල්ටි ගහන චාටර් කොල්ල නිකන් පෝය දවසේ සිල් අරන් වගේ.. කිසි සද්දයක් නෑ (වැඩි දුරත් මඩ සදහා මම අනිත් අයට ඉඩ තබමි).

කොහොම කොහොම හරි මම තමයි එතන හිටිය ලොකුම(වයසෙන් වැඩිම) ජෝන්ට. ඔන්න ටිකකින් තවත් හීන් දෑරී හුනෙක් වගේ ජොකියෙක් පාත් උනා. මු සුලගිල්ල ලියන පවිය කියල පස්සේ දැනගන්න ලැබුන.
මුගේ බ්ලොගය වගේම මු චාටර් බුවෙක් බව කට්ටියගේ කතාවෙන් තේරුණා.

කට්ටිය හිටගෙන උස යන්න වගේ ඉදිල්ලේ වැඩක් නැති නිසා ගියා පොඩ්ඩක් ඇවිදන් ඉස්සරහට. ඔතනදි මගේ හක්කේ තිබු ගැලවෙන්නට තිබුන දත් දෙකක් විතර කිසිම අව්ලක් නැතුව ගැලවුනා කියලනම් කියන්න පුළුවන්. 

නගා, වයිපරේ

 මේ අස්සේ වයිපරේ සමග නගා රැල්ල පාගන්න ගිය අතරේ, එතන හිටිය ලස්සන පිට්ටුවක් වැනි අක්ක කෙනෙක් තමාගේ රතු පාට බින්දු බින්දු වැටුන හැඩකාර සුදු යට ඇදුමේ වැඩි හරියක් අපිට පෙන්නන්න තරම් නිහතමානී උනා. අපිටත් ඉතින් ගෝල් ෆේස් ඇවිල්ල පාර දිහා බලන්න ඉන්න බැරි නිසා මුහුද දිහා බලන් හිටිය ඇරෙන්න අර අක්කගේ යට අදුම දිහා ඇහක් ඇරලා බැලුවේ නෑ කියල මම එක හෙලා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා.

ඉස්සෝ වඩේ, කකුළුවෝ වඩේ සමග බිමට කෝක් අරන් මගේ හක්කේ දත් ගලවාගැනීමේ පිනට ලබන ආත්මේ මාව කක්කුට්ටෙක් වී හරහට යන්න හෝ ඉස්සෙක් වගේ අපද්‍රව්‍ය ඔලුවේ තබාගන්න හෝ බැරිම උනොත් අඩුම ගානේ වඩයක් වෙන්න වත් මේ පින් හේතු වාසනා වෙන්න කියල කියන්න අපේ දිලීප අමතක කරේ නෑ.

1.චාටර් කොලුවා, 2.උදිත්, 3.පවිත්‍ර, 4.මලිත්, 5.දිලීප, 6.මම කොලුවා, 7.වයිපරේ
පින්තුරය නගා විසින් ගන්නා ලදී.

යුවතියන් දෙදෙනා රැල්ල පාගා පැමිණි නිසා අර අක්කගේ රතු බොල බෝල යට ඇදුමට ටටා කියපු අපි අකමැත්තෙන් ගෝල්ෆේස් පාලම දිගේඉස්සරහට අදුන. පස්සේ පොඩි පින්තුර කෑලි ටිකක් ගහන්නත් අපි අමතක කරේ නෑ. ඔය අතරේ කොට සායක් ඇදගෙන ගෝල්ෆේස් බලන්න ආව තවත් අක්ක කෙනෙක්ට කුපාඩි හුලග කරපු නොහොබිනා වැඩේ ඇස්දෙකෙන් දකින්න තරම් අපි පවු කාරයන් උනා කියල දුකෙන් උනත් මට කියන්න වෙනවා. (ඒ අක්කනම් අදුරු පාට වලට ගොඩක් කැමති කියල අපිට තේරුනා)

තව දුරටත් මේ නොහොබිනා වැඩ බලන් ඉන්න බැරි නිසා අපි ගෙවල් වලට යන්න කැපුන. මම මගේ වාහන කට්ටේ අපේ නගාව දාගෙන ආපු එකට මේ වෙනකොටත් හම්බානක කතා හැදිලා ඇති කියල මට දැනෙනවා. මොනවා කරන්නද කුජිතයන් අතර ඉන්නවනම් මේවා බලාපොරොත්තු වෙන්න වෙනවා. 

ඔය එන ගමන් වයිපරයට සහ නගාට අයිස් ක්‍රීම් කෑමේ දොළ දුකක් ඇති වීම හේතුවෙන් මගේ තවත් දතක් ගැල උන බව දත් රහිත කටක් ඇති මා දුකින් පවසමින් පොස්ට් එක ඉවර කරනවා.

ප,ලී. : අප්පට සිරි නගා කිව්වා එයා මේකට ආවේ නෑ කියල. මේ මම පොස්ට් ඒකෙ නගා කියල දාල තියන තැන් කිසි එකක් ඔයාල දැක්කේ නෑලු හොදේ.. ඔන්න නගා අද ආවේ නෑලු. එයා හෙට තියන විබාගෙට පාඩම් කරාලු ගෙදර ඉදන් දවසෙම.. හිකි හිකි...

Wednesday, June 15, 2011

මගේ දින පොත..


අද පොසොන් පෝය දවස. සතියේ මැද දවසක් නිවාඩුවක් එනවා කියන්නේ ඉතින් මරුනේ. හැමදාම ඔෆිස් එකේ පුටු රත් කරන අපිට සතියේ මැද හිතේ හැටියට නිදාගන්න ලැබෙනවා කියන්නේ දෙයියෝ දැක්ක වගේ. ඕක නිසා ඉතින් මම කොලුවත් හුරේ කියල නිදාගත්තා. කොච්චර නිදාගන්න හැදුවත් වෙනද නැගිටින වෙලාවට විහිලුවට හරි ඇහැ ඇරෙනවා. ඉතින් වෙනද වගේ නැගිට්ට 6.00ට. නිවාඩු කියල මතක් උනා, අයෙත් කොල්ල කෝට්ටෙන් ඔලුව වහගෙන ඇදෙ පෙරලුනා. මොන මගුලක්ද 8.00 වෙනකොට අයිය ඇවිල්ල නැගිට්ටුවේ නැද්ද අපේ බලු තඩියව ඩොකා ගාවට ගෙනියන්න ඕනේ කියල. ඉතින් මොනා කොරන්නද නැගිට්ට.

වහු පැටිය වගේ ඉන්න බලු තඩිය(ඉන්නේ ග්‍රේට් ඩේන් එකෙක් හිටගත්තම අඩි 8ක් විතර උසයි. හිතාගනිල්ලා සයිස් ඒක) අපේ වාහනේ දාගෙන යන්න බෑනේ ඉතින් අක්කගේ (අයියගේ බිරින්දෑ) තාත්ත ලොරිය අරන් ආව. ඉතින් ගියා. වහු පැටිය වගේ හිටියට මොකද ඉන්ජෙක්ෂන් එක ගහනකොට අපේ බලුවට චු යනවා. අදත් ඉතින් සුපුරුදු පරිදි එහෙම උනා. අපි අතරෙත් ඉන්න ගොඩක් අය ඔහොම තමා. ඇගේ සයිස් එක ලොකුයි හැබැයි ගූ බයයි. අපේ ඉස්කෝලෙත් හිටිය ඔහොම ජෝන්ටෙක්. දවසක් දෙකක් ඌ මේකේ කොමෙන්ට් දාල තිබුන නිසා මම නම දාන්නේ නෑ. පොරත් ඇගපත ආයේ හොද ලොකුවට තියනවා. හැබැයි වලියක් එහෙම සෙට් උනොත් හුසේන් බෝල්ට් මොකෙක්ද කියල හිතෙන්න රන දෙනවා ආයේ හුරේ කියල.

කොහොමෙන් කොහොම හරි බෙහෙත් තුනක් විද්දා. 1750යි. කොහොමද වැඩේ. යකෝ අපිට බැරි උනානේ බලු දොස්තර කෙනෙක් වෙන්න. දවසට බල්ලෝ 5 දෙනෙක් අවොත් 1500 බැගින් උනත් 7500යි. මාසෙට දවස් 20ක් වැඩ කරත් ලක්ස 1.5 කොහොමද ඒක??? අපිට කොහෙන්ද ඉතින් බුල් බල්ලෝ කිව්වලු. අපි මාසෙම කබුරලා ඔයිං බාගයක්වත් ගන්නේ නෑ.

ඩොකා ලග ඒක බෙහෙතක් නෑ. දුන්න ෆාමසියට බිලක්‌. මම ගියා ෆාමසියට. මම බෙහෙත් ගන්න අතරේ පේනවා වාහනේ නවත්තල තිබුන තැනට එහා පැත්තේ බිම දන්සලක්. බිම දන්සලට වඩා සෙනග අපේ බලු තඩිය බලන්න. ඇයි ඉතින් බලු වේසෙන් ඉන්න වහු පැටියෙක්නේ.. හිකි හිකි. මොනවා උනත් ලංකාවේ මිනිස්සු බල්ලා කියන සතාට පුදුම බැදීමක් තියෙන්නේ. ඒකට හේතුව දැන් දැන් අපේ මිනිස්සුන්ට අමතක වේගෙන ගියාට සිංහලයාගේ බොක්කේ කළගුණ සැළකීම කියන ඒක තියන නිසා කියලයි මට හිතෙන්නේ (කළගුණ සැළකීම ගැන කියන කොට මට නම් එකෙන්ම මතක වෙන්නේ බල්ලා. අත පය හතර කපල දැම්මත් කන්න දුන්න මිනිහට බල්ලා නැට්ට හරි වනනවා)

බෙහෙත් ටිකත් අරන් ඇවිල්ල මම තුමා ආව කොම්පුටරේ ලගට. ඇවිල්ල ඉතින් ඔය කියවන්න තියන බ්ලොග් ටික කියවල කොරල මගේ කලින් පොස්ට් එකට අපේ ජොන්ටෝ දාල තිබුන උත්තර බල බල ඉන්නකොට හෂුලය(මගේ බ්ලොග් ඒක කියවපු අය මේ හෂුලය හොදට දන්නවා. අර ඉස්කෝලෙන් පනින්න ගිහින් මට්ටු උනේ. ඒ කතාව කියවල නැති අය මෙතනින් ගිහින් ඒක කියවන්න.) කෝල් කොරා තව ටිකකින් උගේ ලැපට වින්ඩෝස් දාගන්න එනවා කියල අපේ ගෙදර. දැන් ඉතින් ඒකට සෙට් උනාම වරුවක් ඉවරයි. මොකද උගේ එකයි සචි අයියගේ එකයි ලැප් දෙකයි. 

ඔය වැඩ දෙක ඉවර කොරල අද යන්න එපාය දන්සල් වදින්න. නැත්නම් දන්සල් දෙන අයියල අක්කල අපිත් එක්ක තරහ වෙනවා නෙව. මේ වගේ උතුම් දවසක මිනිස්සු තරහ කොරගන්න වටින්නේ නෑ නෙව. ඉතින් අමාරුවෙන් හරි යන්න වෙනවා. දන්සල් කියනකොට මතක උනේ මීට අවරුදු දෙකකට විතර කලින් මම ඇතුළු යාලුවෝ දෙතුන් දෙනෙක් ගිය දන්සල් වදින්න. දැන් ගිහින් දන්සල් වලින් බීම කාරිය බිව්වට හැම බත් දන්සලකම පට්ට සෙනග. පෝලිමේ ඉන්න ගියොත් තාම ඉන්න වෙනවා. කොහොම හරි පාන්දර 2.00විතර වෙනකල් කරක් ගැහුවට පෝලිම අඩු බත් දන්සලක් සෙට් උනෙම නෑ කියහල්ලකෝ. ගෙදර ගිහින් කන්නත් දැන් කෑම නෑ. කෑම තියනවා, ඒත් හොද බයිටක් කන්න වෙනවා. බඩගින්නේ ඉන්න ඒක හොදයි ඊට වඩා. මොනා කරන්නද කඩේකින් වත් කමු කියල කඩයක් බැලුව. පාන්දර 2.00ට මොන කඩද? අනික වෙසක් දවසේ. අන්තිමට සෙට් උනා පොඩි රෑ කඩයක්. ඕකේ තිබුනෙත් ලඩ වෙච්ච අප්ප විතරයි. මම හිතන්නේ රෑ 10.00ට විතර දාපුවා වගේ. බඩගින්න ලැව් ගින්නටත් වඩා සැරයි කියනවනේ. ගොදම්බා රොටී කියල හිතාගෙන කෑවේ නැද්ද කට්ටිය බඩ කට පුරා ආප්ප. කාල අපුල යන්න ප්ලේන්ටියකුත් ගහල දැන් ගෙදර යනකොට ගෙදරට හැරෙන හන්දියේ දන්සල තාම තියනවා පෝලිමක් ඇත්තෙම නෑ. කන්න බඩේ ඉඩත් නෑ. හිස් දන්සල දිහා බලන් හුල්ල හුල්ල ගෙදර ගියා.

ඔන්න ඔහොමයි මගේ අද දවස ගතවෙන්න තියෙන්නේ. ඔන්න අපේ බලු තඩිය බුරනවා. ඒ කියන්නේ කව්රු හරි ඇවිල්ල. අනිවා හෂුලය. එහෙනම් මම නවතිනවා. දැන් ඉතින් දාපියකෝ වින්ඩෝස්. තවත් දවසක හම්බ වෙමු.